ශ්‍රී ලාංකේය පුරවැසියන් හට යුක්තිය ඉටුකරවා ගැනීමේ ප්‍රධාන අර්බුධයක් ලෙස ආර්ථික දරිද්‍රතාවය පෙනී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පුද්ගලයන් හට තවදුරටත් සිය මූලික නිදහස හා සමානාත්මතාවය පමණක් නොව තම දේපළ අයිතීන් පවා භුක්ති විඳීමට නොහැකි තත්වයක් උද්ගත වේ. තිරසාර සංවර්ධනය කරා ශ්‍රී ලංකාව යන මේ ගමනේ විසඳුම් සාක්ෂාත් කරගත යුතු ප්‍රධාන අර්බුදයක් ලෙස මෙය දැක්විය හැකිය.

යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයෙකුට තමන් විසින් හෝ නීතිඥවරයෙකු මාර්ගයෙන් නිසි අධිකරණයකදී සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමකි. කෙසේ වෙතත් යථාර්ථය වන්නේ නෛතික සම්පත්වල හිඟතාවය හේතු කොටගෙන මෙම අයිතිවාසිකම පමණක් නොව අනෙක් අයිතිවාසිකම් පවා ක්‍රියාත්මක කරවා ගැනීමේ අපහසුතාවක් පවතී.
නීති පද්ධතියේ විවිධ ආයතන සතුව මෙම හිඩැස පිරවීමට යුතුකමක් පවතින අතර නීති ආධාර කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කළද නීති ආධාර ලබා දීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් වර්ධනීය කාර්යභාරයක් සිදුකිරීමේ යුතුකම නීතිඥයන් සතුවද පවතී. නීති ශිෂ්‍යන්ද මෙකී කාර්යභාරයේදී ඉතා වැදගත් සම්පතක් වන අතර මෙතෙක් භාවිත නොකරන ලද සම්පතක්ද වේ. එසේම ඔවුන්හට මෙහි ලා ද්විත්ව භූමිකාවක් නිරූපණය කළ හැකි වන්නේ එක් අතකින් සමාජයට ප්‍රතිලාභ හිමිකරදීමෙන් හා අනෙක් අතට ශිෂ්‍යන් වශයෙන් මනා අත්දැකීමක් ලබා ගැනීමට හැකිවීම තුලිණි. තවදුරටත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබන්නන් ලෙස පෙරළා සමාජයට යුතුකමක් ලෙස සිය කාලය වැය කිරීමට ඔවුන්ට අවස්ථාවක් උදා වේ.
මෙම ව්‍යපෘතිය මඟින් රාජ්‍ය ආයතන, නීතිඥ වෘත්තිකයන් හා නීති ශිෂ්‍යන් සම්බන්ධ කර ගනිමින් සමාජය තුළ අඩු ආදායම් ලාභී පුද්ගලයන් හට උපකාර කිරීම උදෙසා සීමිත ආකාරයෙන් නඩු කටයුතු ද පවත්වාගෙන යාමට කටයුතු කරයි.

This post is also available in: English, Tamil